කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) එම පුදබිම වෙත ගියේය.
කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිපුරම ගැවසෙන කතෝලික සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යය සඳහා දිවයින පුරා බැතිමතුන් 100,000 කට අධික පිරිසක් පැමිණෙති. මීට අමතරව මීගමුව පාරේ සිට ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය දක්වා දිවෙන මාර්ගයද අබලන්ව ඇත. එය ප්‍රතිසංස්කරණය කරන ලෙස කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමතා මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.
තවද, මීගමුව කලාපයේ කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ගරු පියතුමන්ලා සමඟ පැවති සාකච්ඡාවල දී ජනාධිපතිතුමා අවධාරණය කළේ එම පාසල්වල පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට රජයේ කැපවන බවකි.
දේවස්ථානයේ සහ ඒ අවට ප්‍රදේශවල ජලය එක්රැස්වීම කළමනාකරණය කිරීම සඳහා කාණු පද්ධතියක් ඉදිකර දෙන ලෙස දීර්ඝ කාලීන කරන ලද ඉල්ලීමකට අනුව, ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මූලික වියදම වන රුපියල් මිලියන 06 කින් පළමු අදියර නියෝජනය කරමින් රුපියල් මිලියන 02ක චෙක්පතක් පූජක ගරු ලලිත් එක්ස්පෙඩිටස් පියතුමා වෙත ජනාධිපතිතුමා විසින් පිළිගැන්වීය. මීට අමතරව සති අන්තයේ ශාන්ත සෙබස්තියන් පුදබිම වෙත පැමිණි කතෝලික අමුත්තන්ගේ අත්දැකීම් පිළිබඳව ද ජනාධිපතිතුමා විමසා සිටි අතර ඔවුන් සමඟ සුහද කතා බහක නිරත විය.
මෙම අවස්ථාවට කතෝලික පාසල් සාමාන්‍යාධිකාරී ගරු අයිවන් පෙරේරා පියතුමා සහ හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.