කීරි සම්බා බීජ වී වගා ව්‍යාපෘතිය සාර්ථකයි

දිවයිනේ පවතින කීරි සම්බා සහල් හිඟය සැලකිල්ලට ගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ බිත්තර වී සඳහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ඒ අනුව මෙවර යල කන්නයේ ගොවි භාරකාර අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන මත වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 500ක බිත්තර වී සඳහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. කීරි සම්බා අක්කර 1000ක් වගා කිරීමට සැලසුම් කර තිබුණද කීරි සම්බා බිත්තර වී සොයා ගැනීමේ අපහසුව නිසා වගා ව්‍යාපෘතිය අක්කර 500 දක්වා අඩු කිරීමට සිදු විය.
වී අලෙවි මණ්ඩලය මඟින් ගොවීන් 310 දෙනෙකුට කීරි සම්බා වගාව සඳහා අවශ්‍ය බිත්තර වී සහ අනෙකුත් යෙදවුම් ලබා දෙන ලදී.
මෙයට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ කීරි සම්බා වගාව ප්‍රචලිත නොවූ අතර මේ වන විට ගොවීන් විශාල ප්‍රමාණයක් කීරි සම්බා වගාවේ නිරතව සිටිති.
වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කරන ලද කීරි සම්බා වගා ව්‍යාපෘතිය ඊයේ (12) පස්වරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළපැලැස්ස අලුත්වැව ප්‍රදේශයේදී නිරීක්ෂණය කෙරිණි.
මෙම වගාවේ අස්වනු නෙලීම ලබන සතියේ සිදු කිරීමට නියමිත අතර සම්පූර්ණ අස්වැන්න වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.

මෙම කීරි සම්බා අස්වැන්න බිත්තර වී ආකාරයෙන් ගොවීන් අතර බෙදා හැරීමට සැලසුම් කර ඇත
මේ අතර ඉදිරි මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 2000ක කීරි සම්බා වගා කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට ඊයේ (12) උපදෙස් ලබා දුන්නේය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්