මෙම ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබාගැනීමට සමගාමීව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පුළුල් නවීකරණ වැඩසටහනක් සඳහා යුනෙස්කෝවේ සහාය ලබාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියමිතය.
මොණරාගල, බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරය අමතමින් ජනාධිපතිතුමා බදාදා (17) කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් ඇතුළත් උසස් අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ ඉලක්කය අවධාරණය කළේය. ඔහුගේ දැක්ම වන්නේ සමකාලීන ලෝකය තුළ දියුණු වීමට අවශ්‍ය කුසලතාවලින් තරුණයන් සන්නද්ධ කිරීමයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී කරන ලද ආරාධනයකට අනුව විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ සභා ගර්භ ශාලාවේදී පැවැත්විණි.
සිසුන් වෙත වූ පොරොන්දුවක් ඉටු කරමින් අගනා සංගීත භාණ්ඩ එකතුවක් විද්‍යාලයට පිරිනැමීම ද සිදු විය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන්ගේ අධීක්‍ෂණය යටතේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 96 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූ අතර සහතිකපත් බෙදාදීම සිදු විය.
රට ගොඩනගන අනාගත නායකයින් මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් බිහිවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිසුන් අමතමින් අවධාරණය කළේය. මෙම වේදිකා හරහා ලබා ගන්නා අත්දැකීම් මිල කළ නොහැකි බව ඔහු සඳහන් කළේය.
වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය වන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඓතිහාසික හා පෞරාණික පසුබිම ද ජනාධිපතිතුමා විසින් බෙදාගත් අතර ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර පාර්ලිමේන්තුවේ කාර්යභාරය පැහැදිලි කළාය.
මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.යූ.බී. හේරත්, ගුරුවරුන් සහ දෙමාපියන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.