අධ්‍යාපන අංශය නවීකරණය සඳහා ශ්‍රී ලංකාවට යුනෙස්කෝ සහය

අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබාගැනීමට සමගාමීව අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පුළුල් නවීකරණ වැඩසටහනක් සඳහා යුනෙස්කෝවේ සහාය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කළේය.
මොණරාගල, බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරය අමතමින් ජනාධිපතිතුමා ඊයේ (17) කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් ඇතුළත් දියුණු අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ ඉලක්කය අවධාරණය කළේය. ඔහුගේ දැක්ම වන්නේ සමකාලීන ලෝකය තුළ දියුණු වීමට අවශ්‍ය කුසලතාවලින් තරුණයන් සන්නද්ධ කිරීමයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයට ගිය අවස්ථාවේදී කරන ලද ආරාධනයකට අනුව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ සභා ගර්භ ශාලාවේදී පැවැත්විණි.
සිසු සිසුවියන් වෙත වූ පොරොන්දුවක් ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ එකතුවක්විද්‍යාලය වෙත පිරිනැමීම සිසුන්ගේ කෘතවේදීත්වයට හේතු විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන්ගේ අධීක්‍ෂණය යටතේ සහතිකපත් බෙදාදීම සිදුකෙරුනු අතර  ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් රට ගොඩනගන අනාගත නායකයින් බිහිවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිසුන් අමතමින් අවධාරණය කළේය. මෙම වේදිකා හරහා ලබන අත්දැකීම් මිල කළ නොහැකි බව සඳහන් කළ ඔහු බොහෝ පාසල්වල ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මක වීම පිළිබඳව හෙතෙම සතුට පළ කළේය.

ජනාධිපතිතුමා මෙහිදී සිසු දරුවන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය වන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඓතිහාසික සහ පෞරාණික පසුබිම ද ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.
මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.යූ.බී. හේරත්, ගුරුවරුන් සහ දෙමාපියන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්