වර්ෂා සහිත කාලගුණය තුළ නිල්වලා ගඟේ ලවණ බාධකයෙන් ඇති වන ගංවතුර හේතුවෙන් නිල්වලා ගඟ අවට කුඹුරු හෙක්ටයාර් 4000 ක් පමණ නිරන්තරයෙන් ජලයෙන් යට වී හානි වේ.
මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවට ඊයේ (17) උපදෙස් දුන්නේය. ගංවතුර හේතුවෙන් වගා හානි පිළිබඳව ගොවීන් විශාල පිරිසක් තමාට පැමිණිලි කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
දැනට වසර ගණනාවක සිට මාතර දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 4000ක් නිරන්තරයෙන් ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් ගොවීන්ට වගාවන් රැසක් අහිමි වී ඇති අතර, එම සෑම අවස්ථාවකදීම ගොවීන්ට වන්දි ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇත.
නිල්වලා ගඟ අවට මෙම ගංවතුර ඇතිවීමට හේතුව නිල්වලා ගඟට මුහුදු ජලය එක්වීම වැළැක්වීමට යොදාගත් ලවණ බාධකය බව අනාවරණය වී තිබේ. මෙම ලවණ බාධකය ඉවත් කළහොත් නිල්වලා ගඟට මුහුදු ජලය එක්වීමෙන් මෙම දිස්ත්‍රික්කයේ ජනතාවටද පානීය ජල ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇත.
එබැවින් මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන තවදුරටත් ගංවතුරට ලක්ව ඇති මෙම කුඹුරුවල කුඹුරුවල යෝග්‍යතාවය පිළිබඳව අවධානය යොමු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
මේ පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (17) පස්වරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. අමාත්‍යවරයා මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඊට සහභාගි වූහ.
කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව මෙම කුඹුරුවල ගොවීන්ට වන්දි ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් සඳහා නම් කරන ලදී.
ඉදිරි වගා කාලවලදීද අධික වර්ෂාපතනයක් ලැබීමට වැඩි ඉඩක් පවතින බැවින් මෙම කුඹුරු ඉඩම්වල වී වගාව ව්‍යාප්ත නොකළ යුතු බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ.
ඒ අනුව නිල්වලා ගඟේ ලවණ බාධකය හේතුවෙන් ජලයෙන් යටවන කුඹුරුවල වී වගාව ව්‍යාප්ත නොකිරීමට අවධානය යොමු විය. වී වගාව හැර අනෙකුත් භෝග වගා කිරීමට ගොවීන් දිරිමත් කිරීමටත් අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික පහසුකම් රජය මගින් ගොවීන්ට ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය විය.
මේ සඳහා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්.එල්.අබේරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.