බැංකුවලට රන් ආභරණ උකස් කළ පුද්ගලයින්ට සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති සතිපතා කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය කාලය තුළ රට තුළ අත්විඳින ලද දැවැන්ත ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම සෘජුව හා වක්‍රව අහිතකර ලෙස බලපෑ අතර අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස රන් ආභරණ උකස් කිරීම වේගවත් විය.
2019 වසරේ රුපියල් බිලියන 210 ක හිඟ උකස් අත්තිකාරම් ප්‍රමාණය 2024 මාර්තු වන විට රුපියල් බිලියන 571 ක් දක්වා ඉහළ ගොස් එය සියයට 172 ක වර්ධනයක් විය. ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, බලපත්‍රලාභී බැංකු ඔවුන්ගෙන් උකස් අත්තිකාරම් ලබාගත් අඩු ආදායම්ලාභී ප්‍රජාවට සහන ලබා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව උකස් සඳහා වාර්ෂිකව සියයට 10 ක උපරිමයකට යටත්ව මහා භාණ්ඩාගාරයෙන් පොලී සහනයක් ලබාදීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික පුනරුත්ථාපන හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. 2024 ජූනි 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකුවලින් තනි පුද්ගල පදනමින් ලබාගෙන ඇති රුපියල් 100,000 නොඉක්මවන අත්තිකාරම් වෙනුවෙන් මෙය බලාත්මක වේ