ශ්‍රී ලංකාව යළි බංකොලොත් රටක් වීම වළක්වන “ආර්ථික පරිවර්තන පනත” අද (25) පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මෙම පනත ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ළඟා කර ගැනීමේ මූලික අරමුණ ඇති ප්‍රතිපත්තිමය තීරණයක් බවත්, එය ඉතා දැඩි මූල්‍ය විනයක් ඇති පනතක් ලෙසත්, එය සාක්ෂාත් කර ගැනීමේ වැඩපිළිවෙළක් සහිත ආර්ථික වර්ධනය සඳහා වූ මාර්ග සිතියමක් ලෙසත් හැඳින්විය හැකි බවත් සියඹලාපිටිය මහතා පැවසීය.
නව පනතින් අපේක්ෂා කරන මූලික කරුණු පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම පනත ප්‍රධාන වශයෙන් කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. ප්‍රධාන ක්ෂේත්‍ර තුනකින් රජයේ ණය තිරසාර බව තහවුරු කිරීම මෙහි අරමුණයි. ශ්‍රී ලංකාව දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 128 ක විදේශ ණය බරක් දරයි. එය සියයට 95 දක්වා අඩු කිරීමට ඉලක්ක කර ඇත. දැනට රජයේ විදේශ ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9.4 කි. එය සියයට 4.5 දක්වා අඩු කිරීමට ඉලක්ක කර තිබෙනවා.
සමස්ත දළ දේශීය නිෂ්පාදිතය වසරින් වසර සියයට 5කට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය කිරීම ද ඉලක්ක කර ඇත. විරැකියාව අවම කිරීම සහ ආර්ථික සංවර්ධනය සඳහා කාන්තා ශ්‍රම දායකත්වය වැඩි කිරීම අරමුණු කරයි. 2025 වන විට කාන්තා ශ්‍රම බලකායේ දායකත්වය සියයට 25 දක්වාත්, 2030 දී සියයට 40 දක්වාත්, 2040 දී සියයට 50 දක්වාත් ඉහළ නැංවීම මෙම පනතේ අරමුණයි. ආර්ථික පරිවර්තන පනත මගින් ශ්‍රී ලංකාව කලක සිට මුහුණ දෙන අභියෝග දෙකක් ජය ගැනීම අරමුණු කරයි. මෙම ඉලක්ක වන්නේ ඉහළ අයවැය පරතරය අඩු කිරීම සහ විදේශ වෙළඳ හිඟය අඩු කිරීමයි. මෙය මඟහරවා ගැනීමට අපනයන ආදායම වැඩි කළ යුතුයි. සෘජු විදේශ ආදායම වැඩි කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.