ජර්මනිය ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනයට සහාය.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා ඊයේ (ජූලි 29) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

1959 දී ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පිහිටුවා ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට වෘත්තීය පාඨමාලා තුළින් ප්‍රතිලාභ රැසක් ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ජර්මනියට ස්තූතිය පළ කළේය. වර්තමාන ගෝලීය අවශ්‍යතා සපුරාලීම සඳහා ආයතනය වැඩිදියුණු කිරීම සඳහා නව තාක්‍ෂණය හඳුන්වාදීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළ අතර සහාය සහ විශේෂ  දැනුම ලබා දීම ගැන සලකා බලන ලෙස ජර්මනියෙන් ඉල්ලා සිටියේය. ජර්මානු විශේෂඥ දැනුම සහ තාක්ෂණික දැනුම ලබා දීමේ හැකියාව ගවේෂණය කිරීමට තානාපතිවරයා එකඟ විය.

සංචාරක, ගුවන් සේවා, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව අග්‍රාමාත්‍ය ගුණවර්ධන සහ තානාපති ආචාර්ය නියුමන් සාකච්ඡා කළහ. 2024 අගෝස්තු 3 වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත ‘Das Buddhistische Haus in Berlin’ (Berlin බෞද්ධ මධ්‍යස්ථානය, ජර්මනිය) පිහිටුවීමේ 100 වැනි සංවත්සර උත්සවයට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ආරාධනය තානාපතිවරයා විසින් පිළිගනු ලැබීය. එහිදී, ‘ ‘ Das Buddhistische Haus in Berlin – Frohnau, Germany, (1924-2024)’  යන මාතෘකාවෙන් යුත් පොතක් සහ 100 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ ආවරණ තැපැල් මුද්දරයක් එළිදැක්වේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවරන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ජර්මානු තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනී ක්‍රිස්ටිනා ෆොස්ටර් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.