යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් ගිලී ගිය ඉන්දීය ධීවර යාත්‍රාවෙන් 2024 ජූලි 31 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගත් ධීවරයින් දෙදෙනා (02) සහ එක් ධීවරයෙකුගේ සිරුර (01) ප්‍රතිකාර සඳහා යාපනය පුංගුඩුතිව් රෝහලට ඇතුළත් කර සිටියදී අභාවප්‍රාප්ත වූ අතර, 2024 අගෝස්තු 02 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී (IMBL) ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS BITRA’ නෞකාව වෙත භාර දෙන ලදී.
යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවර යාත්‍රා දඩයම් කරන බව දුටු ශ්‍රී ලංකා නාවික හමුදාව එම ට්‍රෝලර් යාත්‍රා විසින් දඩයම් කිරීම වැළැක්වීම සඳහා 2024 ජූලි 31 වැනි දින අඳුරු පැයවලදී සිය යාත්‍රාව යොදවන ලදී. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දඩයම් කළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ගත් උත්සාහය අතරතුර, එම ට්‍රෝලර් යාත්‍රා නාවික හමුදාවේ අණ නොතකා ආක්‍රමණශීලී උපාමාරුවලින් නාවික හමුදාව මඟ හැරීමට උත්සාහ කළේය. මෙම සිදුවීම අතරතුර, ට්‍රෝලර් යාත්‍රාවක් නාවික යාත්‍රාවක ගැටීමෙන් පසු එහි ගමන් මග දිගටම කරගෙන ගියේය. ඉන් සුළු මොහොතකට පසු යාත්‍රාව පෙරළී ගිලා බසින අයුරු නාවික හමුදාව නිරීක්ෂණය කළේය.
කඩිනමින් ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කළේය. නාවික හමුදාව විසින් ගිලෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාව වෙත ජීවිතාරක්ෂක ආම්පන්න විසි කර ධීවරයින් තිදෙනෙකු (03) සාර්ථකව බේරා ගැනීමට සමත් විය. බේරාගත් ධීවරයින් තිදෙනාගෙන් (03) එක් අයෙකු (01) අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ අතර ප්‍රතිකාර සඳහා යාපනය පුංගුඩුතිව් රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, එම ධීවරයා ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව රෝහල් බලධාරීහු තහවුරු කර ඇත.
මුහුදු රළු සහ තද සුළං මධ්‍යයේ අනෙක් ධීවරයා දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. අතුරුදන් වූ ධීවරයා (01) සොයා නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය. මෙම මෙහෙයුමට ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රා ද එක් විය.
සිද්ධියෙන් මියගිය ධීවරයාගේ මෘත දේහය සමඟ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ මුදාගත් ධීවරයින් දෙදෙනා (02) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හරහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS BITRA’ නෞකාව වෙත භාර දෙන ලදී. (ශ්‍රී ලංකා නාවික හමුදාව)