මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව ජලභීතිකා රෝගය හේතුවෙන් මරණ එකොළොස් (11) ක් වාර්තා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ රෙජිස්ට්‍රාර් වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ ආසාදිත සතෙකුගේ සපාකෑම් සහ සීරීම් මගින් පැතිර යා හැකි වෛරස් රෝගයක් වන ජලභීතිකා රෝගය පිළිබඳව මහජනතාවගේ අඩු අවබෝධය හේතුවෙන් බොහෝ මරණ සිදුවී ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව ජලභීතිකා රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව අඩකින් අඩු කිරීමට බලධාරීන් සමත් වී ඇති බව වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසීය.
“අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිසිලෙස අනුගමනය නොකිරීම නිසා මේ වසරේ මේ දක්වා මරණ 11ක් වාර්තා වී තිබෙනවා. රාජ්‍ය රෝහල් 300ක් ජලභීතිකා එන්නත් වලින් සමන්විතයි. වඩාත් දරුණු ලෙස දෂ්ට කළහොත් ඊට අදාළ එන්නත රෝහල් 100ක පමණ ද ලබා දෙනවා.”
මෙම එන්නත් නොමිලේ ලබාදෙන බව සඳහන් කළ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජලභීතිකා රෝගය වැළඳුණු සතකු සපා කෑව හොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ජනතාවට උපදෙස් දුන්නේය.
ආසාදනය පිළිබඳ වැඩිදුර තොරතුරු සපයමින් වෛද්‍ය අතුල ලියනපතිරණ පැවසුවේ ජලභීතිකා රෝගය සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණය වන්නේ ජලභීතිකා රෝගය වැළඳුණු සතකු සපා කෑමෙන් හෝ ජලභීතිකා රෝගය වැළඳුණු සතෙකු දැනට පවතින තුවාලයක් ලෙවකෑමෙනි.
තුවාලයකින් තොරව ඇස්, නාසය, මුඛය සහ ලිංගික අවයව අවට ඇති ශ්ලේෂ්මල පටල හරහා ද අවශෝෂණය කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ජලභීතිකා රෝග ලක්‍ෂණ සති තුනත් මාස තුනත් අතර කාලය තුළ දිස්වන බවත් රෝග ලක්‍ෂණ ඇති වූ කාලසීමාව කුමක් වුවත් රෝහල්වලින් ආසාදිත පුද්ගලයන්ට එන්නත් ලබාදීම සිදු කරන බවත් වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසීය. (පුවත්පත්)