‘ගෝඨාභය කරපු දේ තමයි අනුර කරන්නේ’ – මහින්දානන්ද

ජනාධිපතිවරණය අවසන් වූ විගස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෑතකාලීනව ගත් තීරණ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයෙන් පසු ගත් තීරණවලට සමාන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වූ විගස ඔහුත් ජනාධිපති කාර්යාලයට අයත් වාහන 993ක් අනෙකුත් දෙපාර්තමේන්තුවලට බෙදා දුන්නා. දිවා විවේකයට වෙන් කරන කාලයත් අඩු කරලා, කිරි තේ වෙනුවට ප්ලේන් ටී දීලා, ජනාධිපති මන්දිරය වෙනුවට පුංචි ගෙදරක තමයි පදිංචි වෙලා හිටියේ” යැයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මහජනතාවගේ දැඩි අපේක්ෂාවන් මත රජයක් නිර්මාණය වුවද එවැනි රජයක් ඉදිරියට ගෙන යාම දුෂ්කර බව සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූයේ එයම බව කියා සිටියේය.

ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ සියලු දෙනා සමඟ සන්ධානගත වෙමින් පුළුල් විපක්ෂයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“රනිල් වික්‍රමසිංහ සන්ධානයේ ප්‍රධානියා වුවත් මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත් ඔහු දැනටමත් දන්වා ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.